'මට බෑ හොරෙක් වෙන්න - මොකටද මම හොරෙක් වෙන්නෙ ?

 

බැහැපන් මහ පොළොවට

මිනිසුන් මැද මිනිසෙක් වී
ඉවත් කර හිතේ ඇති මෙලෙක් ගති
පුරවපන් පලක් ඇති මිනිස් ගුන'
'අනු බඳු ගනු කොටව
තල මර බලා නොසිටව,
'දෙවියනි මේ කියන්නේ......'
'කොහේ ඉන්න දෙවි කෙනෙක්ද ?
දෙවියො තමයි අවිද්‍යාව
දෙවියෙක් ඉන්නව නම් උඩු ගුවනේ
උඹටත් පෙනෙන්නට ඇති
මෙච්චර කල් උඹ හිටියෙත් උඩු ගුවනේ
බැහැපන් මහ පොළොවට
හොරකම්-ජාවාරම් පුරුදු වෙයන්'
'මට බෑ හොරෙක් වෙන්න
මොකටද මම හොරෙක් වෙන්නෙ ?
මා ළඟ ඇත කවියක් - ආදරයක්
වටිනාකම නිම් හිම් නැති'
'මෝඩයා !
මහ පොළොවට ඕවා අවලංගුයි
කවියේ වටිනාකම තුට්ටු දෙකයි
ආදරයක් (මස් ලේ ඇති)
සිලිං තුනයි...සිලිං පහයි...සිලිං හතයි...
එක එක ගනන් වලට'
'මම කියන්නෙ ඒක නෙවෙයි
හදවතින්.......'
'හදවතින් විතරක්ද ?
එහෙනම්
ගොනෝ ! ඒක අරිටත් වැඩියෙන් ලාබයි
මේ බලපන් ලෝකය....'
"හෙට ඉරක් පායයි"
-මහගමසේකර- 🖤

Comments

Popular posts from this blog

රිද්දියාගය ශාන්තිකර්මය සහ සමාජ සන්නිවේදනය

ගුරු ගෙදර තුළ සුරැකි දේශීය නර්තනය

ශ්‍රි ලංකාවේ දේව සංකල්පයේ ආරම්භය හා විකාශනය