මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු. වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා.. තාරුණ්යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා. පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සි...