මහගම සේකර නම් වූ 'මහා දාර්ශනිකයා'
'මහා දාර්ශනික' මහගම සේකරයන් මෙලොවින් සමුගෙන අදට 45 වසරකි . මෙම ලිපිය ඒ නිමිත්තෙනි
සිංහල කවියේ සිව්පද ආකෘතිය බිඳ - සඳැස් ඡන්දස් බිඳ නිසැඳැස් නව ආරක් බිහිකළ මහගම සේකරයන් එදා කී දේවල් එදා විචාරකයන්ට වැටහුණි ද යන්න සැබවින්ම විවාදිත ය. අද අප ඒවා වනපොත්කරගෙන ඒවා කියෙව්වත් අප විසින් ඒවායේ යටි අරුත් වටහාගෙන තිබේද යන්න පැනයකි.
ගම්පෙරළිය, කලි යුගය සහ යුගාන්තය තුන් ඈඳුතු නව කතාව ලියූ මාටින් වික්රමසිංහයන්ට අප කියන්නේ 'තුන්කල් දුටු ප්‍රඥාවන්තයා' කියා ය. නමුත් මහගම සේකරයන්ට එබඳුම ප්රවේශයකින් තුන් කල් දකින්නට නිර්මාණය කිරීමට ඇවැසි වූයේ කෘති තුනක් නොව එකම එක කෘතියක් පමණි. ඔහු එයින් ‘තුන්කල් දුටු ‘දාර්ශනිකයා‘ බවට පත්වෙයි. ඒ පොත අන් කිසිවක් නොව, ‘රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත‘ ය.
එහිදී ඔහු අවුරුදු කාලයට මුහුණ රතු වෙන්නට මධු විතෙන් සප්පායම් වී හාංසි පුටුවේ ඉසිඹු ලන උස් මහත මිනිසා රාජසේකර තුළින් අපේ ගෙවී ගිය සරල අතීතය ද රාජසේකරගේ පුත්‍රයෙකු වන ලයනල් තුළින් සංකීර්ණ වර්තමානය ද, සිය පුතු වන රවින්ද මහගමසේකරගේ යුගය තුළින් ලයනල්ගේ පුතු වන ප්‍රියන්තගේ අනාගතය ද දකියි. එනයින් ඔහු කාලත්රය ම එකම එක කවි පොතක් තුළ දිගේලි කරයි.
මිනිසා හඳට ගිය කාලය 1969 යි. රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත තුළින් ඔහු එ් ගැන කියන්නේ 1967 දී ය. ඔහු සුනාමිය ගැන කියන්නේ ද 1967 දීම ය. එනිසා අපට අනුව නම් ඔහුගේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය වන්නේ ‘‘රාජසේකර, ලයනල් සහ ප්‍රියන්ත‘‘ ය. මේ එහි එන එක් පැදි කොටසකි.
නොදකින්
කාලකන්නි…!
වෙලාවකට මට හිතෙනව
මේ ඔක්කොම දමලා ගෙදර යන්ඩ.
පුපුරන එවුන් මිසක ඉරිසියාවෙ
මෙහේ කොහෙද ළෙන්ගතු අය?
ඉබේට කටින් හැලෙන
ගුඩීවිනිං
ගුඩ් මෝනිං
පරඬල් වචන මිසක.
මහගම සේකර එදා කී අද්‍යතන සමාජය සැබවින්ම ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ අද දවසේ ය.
සුනාමිය ගැන වසර 40කට පෙර මහගම සේකරයන් දුටු හැටි අපට සොයාගැනීමට ලැබෙන්නේ 1967 වසරේ ‘සත් සමුදුර‘ චිත්‍රපටයට ලියැවුණු, සෝමදාස ඇල්විටිගලයන්ගේ සංගීතයෙන් සහ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ සුගායනයෙන් සුසැදුණු ‘‘සිනිඳු සුදු මුතු තලාවේ‘‘ ගී පද තුළිනි.
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුළ මහ මෙර දෙදරවයි
බුර බුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනී
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනා සේ
සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුලාවී යේ
එසේ වුව ඔහුගේ අග්‍රඵලය වන්නේ ‘ප්රබුද්ධ‘ කාව්‍ය සංග්‍රහයයි. මහගම සේකර අද සිටියා නම්, බුදුන් වහන්සේ නමැති මහා පුරුෂයාට ප්රබුද්ධ නිසා අපහාසයක් වී යැයි ඔහුව සිරගත කරනු ලැබීමට ද ඉඩ තිබේ! මේ පැදි පෙළෙහි ප්රබුද්ධ නම් මතුබුදු වන මහා පුරුෂයා, කුණු බක්කියකට අත දමා කඩදාසි, පොලිතීන් සහ කෙසෙල් කොළ අවුස්සමින් සත්‍යය සොයයි!
සැණකෙළි බිමෙහි සිට
ආ දන අවන්හල වෙත
බොත් සුරා ඇති පදමට
මහත් අසහනයෙන් මිදීමට.
බනිති මැති ඇමතින්ට රජයට;
කියත් ගී ගසමින් මේසයට;
නිදත් නෙක සුබ සිහින දැක දැක
හඬත් උන් හිටි ගමන් ඇස හැර.
වැඩිවිය අවන්හලෙහි කරච්චලය;
වැඩි විය වර්ෂාවද;
දැන් කිසිවක් පැහැදිලි නැත.
ඔක්කොම එක රොත්තට
ඇත්තම කතා කරති;
කිසිවක් පැහිදිලි නැති ඒ නිසාය.
ප්රබුද්ධ
ස්ටේසම වෙත යනවිට
දෙගොඩහරිය පසුවෙලාය.
‘අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරුෂය !
අත දමා කුණු බාල්දියකට
අවුස්සා කරදාසි පොලිතින් හා කෙසෙල් කොළ
කුමක්දෝ ඔබ සොයන සත්‍යය
‘සොයන්නෙමි මම බත් උළක්
පාන් පෙත්තක්, මාළු කටුවක්
අනාගතයෙහි දිනක බුදු වන
මහා පුරිසානන් රකින්නට’
කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්;
කිමෙක්ද මා දුටුවේ?
අලුයම් අහසෙහි පරවුන සඳ පමණය’
(ප්රබුද්ධ 74 පිටුව)
සමකාලීන බොහෝ උගතුන් සහ නිර්මාණකරුවන් එදා ගද්‍ය සාහිත්‍යය යොදාගෙන විශ්ලේෂණයක යෙදෙද්දී ඔහු තෝරාගත්තේ පද්‍යයයි. සැබවින්ම, හුදෙක් ඒ නිසාම ඔහු සතුව ඇති විසල් මනස, පෘථුල දෘෂ්ටිය නොතකා ඔහු කවියෙකු ලෙස වටහාගෙන ඔහුගේ කවි කියවීමට තැත් කරමින් ඔහුගේ මහා දර්ශනය කවියට ලඝු කිරීම අපේ තිබෙන ඔළමොට්ටල කම ය! ඔහු මහා චින්තනයක් කෙළින්ම සරල කවියක දිගේලි කරයි. ප්රබුද්ධ ඔහුගේ තුන් කල් දකින චින්තනයේ අග්‍ර ඵලය වන්නේ එනිසා ය.
එදා මෙදාතුර ආචාර්ය උපාධි නිබන්ධනයක් සඳහා පිළියෙළ වුණු ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයේ රිද්ම ලක්ෂණ‘ අද දිනයේ උගතුන් තුළින් නැවත කියවීමක් අවශ්‍යම වන සාර සංග්‍රහයකි. 1956 (‘ධවල සේනාංකය‘ පරිවර්තනය) සිට 1973 (‘නොමියෙමි‘) දක්වා කාලය තුළ ඔහු විසින් කෘතීන් 20කට ආසන්න සංඛ්‍යාවක් ලියා ඇත. ඔහු මිය ගිය පසුව තවත් කෘතීන් 8 ක් එළිදුටුවේය.
මහගම සේකරයන්ගේ මහා චින්තනය සැබවින්ම මහා පර්යේෂණ ග්‍රන්ථයකට විෂය විය යුතු දෙයකි. ‘ජාතික චින්තනයක්‘ සොයා අද කාලයේ උගතුන් අනගාරික ධර්මපාල අස්සේ බඩගාද්දී නියම ශ්‍රී ලාංකේය චින්තනය/දර්ශනය තිබුණේ මහගම සේකරයන් තුළ බව ඔවුන්ට නොවැටහේ. ඒ දර්ශනය ලියැවී තිබෙන්නේ කවියෙනි. නමුත් එසේ වූ පමණින් ඔහුව කවියෙකුට ලඝු කළ නොහේ. ඒ වෙනුවට අපේ රටෙන් බිහිවූ මහා දාර්ශනිකයෙකු බවට මහගම සේකරයන් උසවා තැබීමට එය සෑහේ.
එදා තමන්ගේ පන්හිඳෙන් ලියැවුණු කවිවල අරුත එදා සිටිවුන්ට නොවැටහෙනු ඇති බවත්, මතු දින මිනිසුන්ට වැටහෙන බවත් මහගම සේකර සිතා සිටියේය. එහෙත් අනේ.. මහා කවියාට වැරදී ඇත්ද? නැත. සැබවින්ම වැරදී තිබෙන්නේ අපට ය. ඔහු වෙත තිබුණේ එදායින් දශක 5 ක් ඉක්ම ගිය තැන පවා අපට ස්පර්ශ නොවන තරමේ බුද්ධි ප්‍රභා මණ්ඩලයකි. නමුත් ලෝකය වඩා යහපත් වන අනාගතේ යම් දිනයක අප ඒ කවි මීට වඩා ආදරයෙන් කියවනු ඇතැයි මහා කවියා එදවස සිතාගෙන සිටියේය. එ් වඩා යහපත් ‘හෙට දිනක්‘ සදාකාලිකව පතන සිංහල කාව්‍ය රසිකයා විසින් අනාගතයට භාර කළ යුතු මහා කාර්යයක් ලෙස තවමත් ඉතිරිව තිබේ.
1963 දී මහගම සේකරයන් විසින් ලියූ ‘‘හෙට ඉරක් පායයි‘ කාව්‍ය සංග්‍රහයෙන් ගත් උපුටනයකි, මේ.
ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරීගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට ඇත මට කවියක්
එසේ වුව සොයුරනි!
ඔබ ගැන මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනෙකුට
අද දින නොවැටහෙන බව දනිමි
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව දනිමි..
සේකර, ඔබ නොමියේ!
Thank to Lanka News Web

Comments
Post a Comment