වසංගත සමයක ජන මාධ්ය ආචාරධර්ම හා වගකීම
ආචාරධර්ම යනු පොදු සමාජයක ජීිවත්විමේ දී, යම් වෘත්තියක නියැලීමේ දී අප ආරක්ෂා කළ යුතු යහ ගුණ ධර්මයන් ය. ආචාරධර්ම කඩ කිරීමෙන් යමෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු නොවිය හැකිය. නමුත් යපහත් සමාජයක පැවැත්මට එහි මිනිසුන් කොතරම් ආචාරධර්මානකූල වන්නේ ද යන කාරණය බෙහවින් වැදගත් වේ.
සංස්කෘතික වශයෙන් ශිෂ්ටත්වයට පත් වූ සෑම සමාජයක් තුළම ආචාරධර්ම දක්නට ලැබේ. ගෝත්රික මිනිසා ක්රමයෙන් ශිෂ්ට සම්පන්න යුගයකට පිවිසෙන්නේ මේ මානව ආචාරධර්ම තුළින් ඔහුව මෙහෙයවනු ලැබූ නිසාය. ආචාරධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ ක්රියා, සමාජ අන්තර් ක්රියා සහ මානසික සාධක පදනම් කොටගෙන පෝෂණය වන ගැඹුරු විෂයකි.
ආචාරධර්ම තුළින් පොදු සමාජ ජීවියෙකු ලෙස අනුල්ලංඝනීය කළ යුතු සමාජ සම්මතයන් පිළිබඳව අවධානය යොමු කොට ඇත. විද්වත් අවධානය මේ කෙරෙහි වඩාත් යොමු වී ඇත්තේ එහි ඇති වැදගත්කම නිසාවෙනි.
ආචාරධර්ම යනු අපගේ මානුෂීය අත්දැකීම් වල පරම වටිනාකම් අතරින් එකක් පිළිබඳව අධ්යයනය කරනු ලබන්නකි. එනම් මනුෂ්යයා තුළ පවතින සාධුත්වය ක්රියා කිරීම නම් අංශය තුළින් පිළිඹිබු කෙරෙන්නේ මේ අධ්යයනයන් ය.
-ආචාර්ය ජොන් මැනෝසි-
ආචාරධර්ම සදාචාර නීති හෝ ප්රඥප්ති මෙහෙයුම් ගැන ගවේෂණය කරන අතර සමහරවිට පරිපූර්ණ සාධාරණ ක්රියාවක ස්වාභාවය සොයයි. මිනිසාගේ යහපත්භාවය සත්යමය යහපත හා එයට නියුක්ත වීමේ ක්රමය ගැන ගවේෂණය කරයි.
-ආචාර්ය හෙන්රි සිප්ඩ්වීත්-
යහපත් අයහපත්, හරි වැරදි, යුතු අයුතු යන පදවලින් හෝ එම පද වලට සමාන වෙනත් පද වලින් ආචාරධර්ම ලක්ෂණ මතු වන බවයි.
-සී. සී බ්රොඩ්-
ශ්රි ලාංකේය සමාජයෙහි පවත්නා ආචාරධර්ම බොහෝමයකට පදනම් වී ඇත්තේ බුදු දහමයි. එයට සරල නිදසුනක් ලෙස බුදුන් වහන්සේ විසින් ගිහියන් සඳහා දේශනා කරනු ලැබූ පංච ශීලය දැක්විය හැකිය. පංච ශීලය නිසිලෙස ආරක්ෂා කරමින් ජීවත් වන සමාජයක දී කිසි ලෙසකින් හෝ අන් අයෙකුට කරදරයක් නොවී, අන් අයට ගරු කරමින් ජීවත් වීමේ හැකියාව ලැබේ. බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය තුළ නිරන්තරයෙන්ම ආචාරධර්මීය පදනමක් පැවතුනි.
ජන මනස, ජන විඥානය කෙරෙහි සෘජු බලපෑමක් ජන මාධ්ය සම්බන්ධව විමසා බැලූ විට දී මාධ්ය ආචාරධර්ම තබා මූලික මානව ආචාරධර්ම හෝ නොතකමින් කටයුතු කරනු ලබන ආකාරයක් වත්මනේ මාධ්ය හැසිරීම සම්බන්ධව විචාරශීලිව අවධානය යොමු කිරීම තුළින් පැහැදිලි වේ. විශේෂයෙන් ම කොරෝනා වසංගතය මෙරට තුළ ව්යාප්ත වීමේ මුල් සමය තුළ සිටම මාධ්යයට වෘත්තීය ආචාරධර්ම, සමාජ වගකීම් පිළිබඳව තැකීමකින් තොරව ක්රියා කරන ආකාරයක් දක්නට ලැබේ. කොරෝනා වසංගතයෙහි ඇති භයානක බව, එයින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු සෞඛ්ය පුරුදු, සෞඛ්ය හා ආරක්ෂක අංශ මේ මොහොතේ දරණ වගකීම් ආදිය පිළිබඳව නිරන්තර අවබෝධයක් සමාජයට සම්ප්රේෂණය කරනු වෙනුවට වගකීම් විරහිත අයුරින් ජන මාධ්ය මාධය කටයුතු කරමින් සිටියි.
කොරෝනා ආසාධිතයින් සහ ඔවුන්ගේ සමිපතමයින්ගේ මුහුණු සමාජයට නිරාවරණය කිරීම, ආසාධිතයින්ගේ නිවාස ආයතන ආදිය හෙළිකිරීම, සංචරණ සීමා කඩ කරන්නන් සහ ආරක්ෂක අංශ අතර සිදු වන යම් සිදු වීම් නාට්යමය අයුරින් පෙන්විම වැනි දෑ සිදු කිරීමට මාධ්ය තම කාලයෙන් බහුතරයක් වෙන් කොට ඇති කොට ඇති බව ඉතාමත් හොඳින් පැහැදිලිය.
කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු හෝ ඔවුන් ඇසුරු කළ අයෙකුගේ අනන්යතාව හෙළිකිරීම මගින් ඔවුන් වෙනස් ලෙස සැලකීම මෙන්ම වර්ගීකරණයට ලක් කෙරෙන බව මානව හිමිකම් පිළිබඳ ප්රවිණයෙකු වන ජැමෙයිකාවේ කිංස්ටන් විශ්වවිද්යාලයේ නීති පීඨයේ පීඨාධිපති ප්රතිභා මහානාමහේවා මහතාගේ අදහසයි.
යමෙකුට වෙනස් ලෙස සැලකීම වර්ගීකරණයට ලක් කිරීම ආණ්ඩුක්රම ව්යාවස්ථාවේ සමානාත්මතාවේ අයිතිය උල්ලංඝනය කිරීමකි. යමෙකුගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන් සෘජුවම නීතිමය ක්රියාමාර්ග ගත හැකි පුද්ගලිකත්වයේ පනතක් අප රටෙහි නොමැත. එහෙත් 2003 බුද්ධිමය දේපල පනත යටතේ අනුමැතියකින් තොරව කෙනෙකුගේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම කළ නොහැකිය. අනෙකාගේ පෞද්ගලිකත්වය, ජීවත් වීමේ අයිතය අගයන සමාජයකදී නීතියට වඩා ආචාරධර්ම බලවත්ය. අවම වශයෙන් මාධ්යවේදීන් හෝ මේවා පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
නීතිය සහ ආචාරධර්ම පසෙක තිබියදී කැරම්බෝඩ් ඔසවාගෙන දුවන තරුණයින්, යතුරු පැදි තල්ලු කරගෙන යන පුද්ගලයින් ආදීය ඕනෑතරම් මේ දිනවල මාථ්ය තුළ දැකිය හැකිය. ඉන් කියැවෙන්නේ අප ශිෂ්ටත්වයට බොහෝ දුර බව නොවේද.
කොරොනා තුන්වන රැල්ල පැමිණිමට පෙර කොරෝනා සුව කිරීමට හැකි පැණියක් සොයා ගෙන ඇති බවට මාධ්යය තුළින් විශාල ප්රචාරක මෙහෙයුමක් දියත් කරමින් වසංගත මර්දන කටයුතු වලට විශාල අගතියක් සිදු කරන අයුරු දක්නට ලැබිණි. ලොව ප්රමුඛ ඖෂධ නිෂ්පාදන සමාගම් පවා තවමත් කොරෝනා වලට එරෙහි ඖෂධ සම්බන්ධව සිටින්නේ පර්යේෂණ අවධියකය. යථාර්ථය එලෙස තිබිය දී අදෘශමාන බලවේගයකින් කොරෝනාවට ඖෂධයක් ලබා දුන් බව කියමින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම කෙතරම් ආචාරධර්මානුකූල ද. පැණිය සඳහා ලබා දුන් කාල වේලාව ජනතාව දැනුම්වත් කිරීම සඳහා යොදා ගනු ලැබූවේ නම් එය සෞඛ්ය හා ආරක්ෂක අංශ වල කටයුතු වලට අස්වැසිල්ලක් වන්නට තිබුණි.
ජන මාධ්ය තම භූමිකාව හා සමාජ වගකීම වෙනුවට විටෙක දී වෛද්යවරයාගේ කාර්යයත්, තවත් විටෙක පොලිසියේ හෝ හමුදාවේ කාර්යයත් සිදු කිරීමට උනන්දු වන ආකාරය පෙනි යයි. ඉන සිදුව ඇත්තේ මාධ්යයට තම වගකීම අමතක වී අශිෂ්ටත්වයට පත් වීම පමණි. ඉන් මාධ්යයට මෙන්ම සමාජයට ද සිදු වන්නේ අවැඩකි.
- දිනේෂ් ජයසිංහ -


Comments
Post a Comment